Saturday 6th of June 2026

English Tamil
Advertiesment


අප රට දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් සිටිනවා


2026-06-05 1261



- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -



එදා රජ දවසේ වීරෝධාර පුරවැසියන් ශක්තිමත් හා ආඩම්බර ජන ජීවිතයක් ගත කළත් අද වන විට නිවසේ ආර්ථිකය කඩා වැටී පුද්ගලයන්ගේ ආර්ථිකය කඩා වැටී දශලක්ෂ ගණනකගේ ජන ජීවිත මහපොළවට කඩා වැටී ඇති බවත් අප රට දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් විදේශ සංචිත පවා අඩුවෙමින් යන බවත් අපනයන ක්ෂේත්‍රය පවා දියුණු වීමේ වේගය අඩු වීම නිසා එදා ආරම්භ කළ ඇගලුම් කර්මාන්තශාලා පවා වැසී යන බවත් මේ නිසා තරුණ තරුණියන්ගේ රැකියා අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවත් මෙයට ඇති ප්‍රධානම හේතුව ආයෝජක හිතකර පරිසරයක් රටේ නොවීම බවත් ඊට අමතරව රටට ලැබිය යුතු සෘජු විදේශ ආයෝජන පවා රටට අහිමි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන හඳුගල විජයාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.

වියට්නාම ජනාධිපතිවරයා පසුගිය දින පාර්ලිමෙන්තුවට පැමිණි අවස්ථාවේ වියට්නාමය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී වියට්නාමයේ සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයට දෙන දායකත්වය අප රටට වඩා ඉහළ බවත් ඔවුන් ද යුද්ධයකින් බැට කෑ නමුත් අද වන විට විශාල සංවර්ධනයක් අත් කර ගෙන ඇති බවත් ඒ රටේ ජීවත් වන අතිමහත් බහුතරයක් ජනතාව හොඳ ශක්තිමත් ආදායම් මාර්ග තුළින් ජන ජිවිත සුඛිත මුදිත වි ඇති බවත් අප රටේද ජනතාව එකට සිට ගෙන සහෝදරත්වයෙන් අවබෝධයෙන් රට ගොඩගන්න ඇපකැප විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට නව ආර්ථීක වැඩපිළිවෙළක් අවශ්‍යයි

අප රට ගොඩගන්න නම් නව ආර්ථීක වැඩපිළිවෙළක් හරහා ජන ජීවිත ශක්තිමත් කළ යුතු බවත් ගොවියාට අවශ්‍ය පොහොරවල මිල පවා ඉහළ ගොස් ඇති බවත් මේ තත්ත්වයක් උඩ ලබා ගන්නා අස්වැන්නට නියමිත මිලක් නොමැති බවත් මේ නිසා ගෘහයේ ආදායම් බිද වැටි ඇති බවත් එදා රජ සමයේ රට පාලනය කළ රජවරු ජනතාව සම්බන්ධයෙන් සංවේදී වී ඇති නිසා අද දවසේ ද දුකට පත් ජනතාව සුවපත් කරන සැපවත් කරන රටක් බවට අප රට පරිවර්ථනය කළ යුතු බවත් මර්දනය පැත්තක දමා සෘජු තීන්දු ගෙන සංවේදී විය යුතු බවත් ජනතාවගේ දුක ඉදිරියේ දුකට පත් ජනතාවට ශක්තියක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සුබසාධන ආර්ථිකය ශක්තිමත් විය යුතුයි

කවුරු කැමති වුවත් අකමැති වුවත් රටේ සුබසාධන වැඩපිළිවෙළ ශක්තිමත් විය යුතු බවත් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වර්ධනය කිරීමට කර්මාන්ත හා කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට රජය මැදිහත් විය යුතු බවත් ලෝකයේ තාක්ෂණය ඉදිරියට යන විට අප ද ඒ තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බවත් අද වන විට අප රටේ පාසල්වලට නිසි භෞතික උපකරණ නොමැති බවත් මේ ආකාරයට නම් රට සිංගප්පූරුවක් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇති හැකි නැති බැරි පරතරය නැති විය යුතුයි

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පරිගනක විද්‍යාව තොරතුරු තාක්ෂණය ආදිය ශක්තිමත් විය යුතු බවත් නව තාක්ෂණ ක්‍රමවේද පාසලට කෘෂිකර්මාන්තයට ගෙන ආ යුතු නමුත් අද ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධනය සහ තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය තහනම් වී එය එක්තරා පන්තියකට සීමා වී ඇති බවත් ධනවතුන්ට මේ පහසුකම් තිබුණත් රටේ සාමාන්‍ය ජනතාවට මේ වරම අහිමි වී ඇති බවත් මේ ඇති හැකි නැති බැරි පරතරය නැති කර දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද රටේ තැන ඇත්තේ පච දේශපාලනයටයි

මේ රටේ වැඩ කරන දේශපාලනඥයාට වඩා බොරු කියන පච කියන දේශපාලනඥයන්ට නම් තැනක් ඇති බවත් දරුවන්ට සුහුරු පන්ති කාමර ලබා දීම අපහාස කරන තැන අප රට පත්ව ඇති බවත් ඒ නිසා දැන්වත් මේ ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පන්සල් පද්ධතියට ලැබිය යුතු ප්‍රමුඛස්ථානය අවධානයද ලැබෙන්නේ නැහැ

අද වන විට ප්‍රබලයන් විසින් බෞද්ධකම ඉදිරියට දමා තමන්ගේ ස්ථාවරත්වය ශක්තිමත් කරන්න උත්සාහ කළත් සිදුවිය යුත්තේ බෞද්ධකම ප්‍රායෝගික බෞද්ධකමකට පරිවර්තනය කර අප රටේ ඇති ඉපැරණි සංස්කෘතිය වන වැවයි දාගැබයි ගමයි පන්සලයි ශක්තිමත් කර වර්ධනය කිරීමට අපෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉටු කිරීම බවත් අද රටේ ඇති පන්සල් පද්ධතියට ලැබිය යුතු ප්‍රමුඛස්ථානය අවධානය නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ අරමුදලක් ස්ථාපිත කර රට පුරා ඇති වෙහෙර විහාර ශක්තිමත් කරන්න දියුණු කරන්න කටයුතු කළා සේම ගෞරවනීය මහා සංඝරත්නයට ශක්තිය ලබා දී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සෘජු රාජ්‍ය මැදිහත්වීමක් සිදු කළ බවත් බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම රටේ සමගිය, සාමය සහ සහෝදරත්වය පවා ස්ථාපිත කළ බවත් ඒ සඳහා සෙසු ආගම් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කර රටේ ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment